මැදපෙරදිග උණුසුම් වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ යුරෝපයේ ඇතැම් භෞතික තෙල් තොගවල මිල බැරලයක් ඩොලර් 130 ඉක්මවා ගොස් ඇති බව Reuters වාර්තා කරයි.
විකල්ප තෙල් සැපයුම් සොයන ගැනුම්කරුවන්ගේ ඉල්ලුම ඉහළ යාමත් සමඟ උතුරු මුහුදේ Forties වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 136.75 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එය පසුගිය අප්‍රේල් 13 වැනිදා වාර්තා වූ බැරලයක ඩොලර් 147.37ක වාර්තාගත මිලට ආසන්න අගයක් බව සඳහන්.
සෞදි අරාබියේ East-West තෙල් නල මාර්ගයට පසුගිය සතියේ එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් රතු මුහුදේ Yanbu වරායෙන් තෙල් පැටවීම තාවකාලිකව අත්හිටුවීමට සිදුව තිබෙනවා.
ඒ හේතුවෙන් සැප්තැම්බර් අවසානයේ යුරෝපීය ගැනුම්කරුවන් වෙත ලබාදීමට නියමිතව තිබූ ඇතැම් තෙල් තොග අවලංගු කිරීමට සෞදි අරාබිය කටයුතු කර ඇති බව වෙළෙඳ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර, අඟහරුවාදා Brent බොරතෙල් අනාගත මිලද ඩොලර් 3කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 110කට ආසන්න වී තිබෙනවා.
ලිබියාවේ තෙල් නිෂ්පාදන ක්ෂේත්‍ර තුනක මෙහෙයුම් අත්හිටුවීමද ගෝලීය තෙල් සැපයුම් බාධා තවදුරටත් පැවතිය හැකි බවට ඇති අවධානය වැඩි කර තිබෙනවා.
Reuters පෙන්වා දෙන්නේ භෞතික තෙල් තොගවල මිල, අනාගත වෙළෙඳපොළේ Brent මිලට වඩා ඉහළ මට්ටමක පවතින්නේ එම තොග ඉදිරි සති කිහිපය තුළම ලබාදීමට නියමිත බැවින් බවයි.














