නුවරඑළිය නගර සීමාව තුළ අයාලේ හැසිරෙන පෝනියන් හේතුවෙන් ප්‍රධාන මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධා මෙන්ම බරපතළ රිය අනතුරු සහ සෞඛ්‍ය ගැටලු මතුව ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙති.
සංචාරක වාර නොමැති අවස්ථාවල අයිතිකරුවන් විසින් මෙම සතුන් නිදැල්ලේ මුදා හැරීම නිසා ඒවා ප්‍රධාන මාර්ගවල සැරිසැරීම, හදිසියේ මාර්ගය හරහා දිව යාම සහ මහාමාර්ගවල වැතිරී සිටීම හේතුවෙන් රියදුරන්ට මෙන්ම මගීන්ටද දැඩි අනාරක්ෂිත තත්ත්වයක් උද්ගත වී ඇත.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නුවරඑළිය මහ නගර සභාව සහ පොලිසිය ඒකාබද්ධව පෝනියන්ගේ අයිතිකරුවන් ලියාපදිංචි කර දැඩි නිර්ණායක යටතේ නියාමන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටත්, නීති උල්ලංඝනය කරමින් අයාලේ හැසිරෙන සතුන් නගර සභා භාරයට ගෙන දඩ මුදල් නියම කිරීමටත් මේ වන විට පියවර ගනිමින් සිටී.














