ශ්‍රී ලංකා ආහාර කර්මාන්තයේ අනාගත සූදානම සහ වෙනස්වන ආහාර සුරක්ෂිතතා ක්ෂේත්රය කෙරෙහි අවධානය යොමු කරමින්, කන්ට්‍රෝල් යුනියන් ඇකඩමි ශ්‍රී ලංකාව (Control Union Academy Sri Lanka) පදනම් FSSC (Foundation FSSC) සමඟ එක්ව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) “ෆුඩ් සේෆ්ටි ෆෝවර්ඩ්” (Food Safety Forward) නමින් FSSC 7 වන සංස්කරණය පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. ආහාර කර්මාන්ත වෘත්තිකයන්, ආහාර සුරක්ෂිතතා වෘත්තිකයන්, ව්‍යාපාරික නායකයන් සහ පාර්ශ්වකරුවන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.
මෙම සමුළුවේ ආරම්භක දේශනය කන්ට්‍රෝල් යුනියන් ශ්‍රී ලංකාවේ කළමනාකාර අධ්යක්ෂ රොෂාන් රණවක මහතා විසින් සිදු කරන ලද අතර, ශ්‍රී ලංකාවේ ආහාර කර්මාන්තයේ අනාගතය හැඩගැස්වීම පිළිබඳව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ජනක් බදුගම මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී. FSSC ඉන්දියා සහ ශ්‍රී ලංකා නියෝජිත ස්මිතා මූර්ති මහත්මිය විසින් ගෝලීය ආහාර සුරක්ෂිතතා අපේක්ෂාවන් සහ දේශීය ව්‍යාපාර සූදානම් විය යුතු ආකාරය පිළිබඳව සහභාගී දැනුවත් කළ අතර, මූර්ති, බදුගම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය කේ.කේ.ඩී.එස්. රණවීර සහ කෘෂි ව්‍යාපාර ව්‍යවසායක සහ අපනයන විශේෂඥ අන්නස් ජුනයිඩ් යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මණ්ඩල සාකච්ඡාවක් ද පැවැත්විණි.
මෙම සාකච්ඡාව කන්ට්‍රෝල් යුනියන් ශ්‍රී ලංකාවේ වාණිජ කළමනාකාර සුනේර වික්‍රමආරච්චි මහතා විසින් මෙහෙයවන ලද අතර, ගෝලීය ආහාර සුරක්ෂිතතා අපේක්ෂාවන්, වෙළඳපල ප්‍රවේශය සහ ශ්‍රී ලංකික ව්‍යාපාරවල තරඟකාරීත්වය ඉහළ නංවා ගැනීමට ගත හැකි ප්‍රායෝගික පියවරයන් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී. කන්ට්‍රෝල් යුනියන් ශ්‍රී ලංකාවේ සාමාන්‍යාධිකාරී කෞෂල්‍යා රාජපක්ෂ මහතා විසින් ස්තූති කථාව සිදු කර ඇති අතර, තත්ත්ව කළමනාකාර උත්තරා රාජපක්ෂ මහත්මිය විසින් මුළු සැසියම මෙහෙයවනු ලැබීය.














