මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. රුපියල් මිලියන 600ක ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ ඉදිකෙරෙන මෙම නව ඒකකයේ කටයුතු 2028 වසරේ පළමු කාර්තුව වන විට අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
මන්නාරම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු හා ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ යාමට සමගාමීව ජනතාවට ඉහළ මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබාදීම රජයේ ප්‍රමුඛ වගකීමක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මීට අමතරව, වෛද්‍යවරුන් සඳහා නිල නිවාස ගොඩනැගිල්ලක්, නව ළමා රෝග ඒකකයක් සහ රුපියල් මිලියන 250ක් වටිනා CT ස්කෑන් යන්ත්‍රයක් ලබන පෙබරවාරි වන විට ලබාදීමට නියමිත අතර, රෝහලේ කාර්ය මණ්ඩල පුරප්පාඩු ද කඩිනමින් පිරවීමට පියවර ගනිමින් සිටී.














