භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් නීතිවිරෝධී ලෙස රටින් බැහැර කළ බවට චෝදනා එල්ල වී ඇති සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පෞද්ගලික බැංකු නිලධාරීන් සිව්දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතාගේ නියෝගය අනුව එක් එක් සැකකරු රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබේ. ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවද අධිකරණය දැනුම්දී ඇත.
එමෙන්ම අදාළ බැංකු නිලධාරීන් සේවය කළ බැංකු ශාඛාවට සහ එහි ප්‍රධාන කාර්යාලයට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. මේ අතර සිද්ධියේ ප්‍රධාන සැකකාර ව්‍යාපාරික මොහොමඩ් ජිෆ්රිගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහු ඇතුළු තවත් සැකකරුවෙකු ඔක්තෝබර් 1 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කර ඇති බව සඳහන් වේ.














