ජපානයේ අයිචි-නගෝයා හි පැවැත්වෙන 20 වන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි 3×3 බාස්කට්බෝල් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ හිටපු බාස්කට්බෝල් නායක මෙතික ජයසිංහ සහ වත්මන් උපනායක ඩැරන් බර්නාඩ් තේරී පත්ව සිටිති.
පාසල් බාස්කට්බෝල් පිටියේ කැපී පෙනෙන නායකත්වයක් සහ දක්ෂතාවයක් පෙන්නුම් කළ මෙතික ජයසිංහ, 2024 සහ 2025 වසරවලදී ශ්‍රී ලංකා පාසල් ‘A’ කාණ්ඩයේ වයස අවුරුදු 20න් පහළ සමස්ත ලංකා බාස්කට්බෝල් ශූරතාවයන් පිට පිටම ජයගැනීමට ශාන්ත ජෝසප් විද්‍යාලය මෙහෙයවූ අතර එහිදී වටිනාම ක්‍රීඩකයාට හිමි MVP සම්මානයෙන්ද පිදුම් ලැබීය. මීට පෙර FIBA U18 ජාතික කණ්ඩායමේ නායකයා ලෙසත්, 2026 වසරේදී වයස අවුරුදු 20දී ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ බාස්කට්බෝල් කණ්ඩායමට තේරී පත්වූ ලාබාලතම ක්‍රීඩකයා ලෙසත් ඔහු ජාත්‍යන්තර තලයට පිවිසියේය.
එසේම, විද්‍යාලයීය උපනායක ඩැරන් බර්නාඩ් විවිධ වයස් කාණ්ඩ යටතේ සමස්ත ලංකා බාස්කට්බෝල් ශූරතාවයන් 10කට ආසන්න ප්‍රමාණයක් ජයගත් කණ්ඩායම් නියෝජනය කර ඇති අතර, 2023 U16 සමස්ත ලංකා තරගාවලියේ MVP සම්මානය සහ 2025/26 U20 පළමු ශ්‍රේණියේ හොඳම ප්‍රහාරාත්මක ක්‍රීඩකයා සම්මානය දිනාගත්තේය. විද්‍යාලයීය බාස්කට්බෝල් වෙනුවෙන් දැක්වූ විශිෂ්ටත්වය උදෙසා 2026 Josephian Blue Award සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු, ශ්‍රී ලංකා U16 ජාතික කණ්ඩායමේ නායකයා ලෙස මෙන්ම හංගේරියාවේ පැවැති FIBA 3×3 U18 ලෝක කුසලාන තරගාවලියේදීද ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. මෙතික සහ ඩැරන් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ ‘A’ කාණ්ඩය යටතේ මොංගෝලියාව, පිලිපීනය සහ කසකස්ථානයට එරෙහිව තරග වැදීමට නියමිතය.














