ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ලෙබනන ජනාධිපති ජෝසෆ් අවුන් අතර ලෙබනනයේ ආරක්ෂාව, ස්වෛරීභාවය සහ ලෙබනන සන්නද්ධ හමුදාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පැරිසියේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ජෝර්දාන රජු අබ්දුල්ලා දෙවැනිවරයාද සහභාගී වූ මෙම සාකච්ඡා “Aqaba Process” වැඩසටහන යටතේ ලෙබනන හමුදාවට ජාත්‍යන්තර සහාය ලබාදීමේ උත්සාහයක කොටසක් බව ප්‍රංශ ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
මෙහිදී ලෙබනන හමුදාව සඳහා අවශ්‍ය උපකරණ, පුහුණුව, මූල්‍ය සහාය සහ අනෙකුත් ආධාර ලබාදීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කර ඇති අතර, ලෙබනන හමුදාවට රට පුරා රාජ්‍ය අධිකාරිය ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි එහි හැකියාවන් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවද සාකච්ඡා කර තිබේ.
ලෙබනන ජනාධිපති කාර්යාලයට අනුව, මැක්‍රොන් සහ අවුන් අතර පැවති වෙනම සාකච්ඡාවේදී ඊශ්‍රායල ප්‍රහාර අවසන් කිරීමේ උත්සාහයන් සහ ලෙබනනය හා ඊශ්‍රායලය අතර පැවැත්වෙන සාකච්ඡා පිළිබඳවද අවධානය යොමු වී තිබේ. එමෙන්ම, ලෙබනනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව තහවුරු කිරීමේ වැදගත්කම ප්‍රංශය නැවත අවධාරණය කර ඇත.
මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම වන UNIFIL හි මෙහෙයුම් 2026 අවසන් වනවිට අවසන් කිරීමට නියමිත පසුබිමකය. ඒ අනුව, UNIFIL පසුකාලීනව දකුණු ලෙබනනයේ ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක කළ හැකි ජාත්‍යන්තර හෝ යුරෝපා මට්ටමේ විකල්ප ක්‍රමවේද පිළිබඳවද පැරිස් සාකච්ඡාවලදී අවධානය යොමු වී තිබේ.














