දරුවන් ජාතියේ නිධානයක් බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වගකිව යුතු රජයක වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන **“දිවියට සවියක්”** නිවාස වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (17) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එක්වෙමිනි. වැඩසටහන යටතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට සමාජගත වූ වයස අවුරුදු 18ට වැඩි තරුණ තරුණියන් සහ අනාරක්ෂිත හා අධි අවදානම් තත්ත්වයන්හි පසුවන ලෙස හඳුනාගත් දරුවන් සඳහා නිවාස ඉදිකිරීමට රු. මිලියන 2ක ආධාර මුදලක් ලබාදීමට කටයුතු කර තිබේ. බස්නාහිර පළාතේ ප්‍රතිලාභීන් වෙත එම ආධාර අද ලබාදී ඇත.
ජනාධිපතිවරයා සඳහන් කළේ පසුගිය වසරේ සුරක්ෂිත නිවසක් වෙනුවෙන් රු. මිලියනයක ආධාරයක් ලබාදුන් බවත්, එම මුදල මේ වසරේ රු. මිලියන 2ක් දක්වා වැඩි කළ බවත්ය. එම මුදලද ප්‍රමාණවත් නොවන්නේ නම් තවදුරටත් ප්‍රතිපාදන වෙන් කිරීමට රජය සූදානම් බවද ඔහු පැවසීය. දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයට පමණක් සීමා වූ වගකීමක් නොවන අතර, ඒ සඳහා සමාජයේද වගකීමක් පවතින බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මීට අමතරව, ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන් සමාජගත වන අවස්ථාවේදී ඔවුන්ට මූල්‍ය පදනමක් ලබාදීමේ අරමුණින් බැංකු ගිණුම් ආරම්භ කර සෑම මාසයකම එක් ගිණුමකට රු. 5,000 බැගින් තැන්පත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.














