දේශීය එළවළු ගොවියා නඟාසිටුවීමේ අරමුණින් පිහිටුවන ලද පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය මේ වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ආර්ථික මධ්‍යස්ථානවල අලෙවියෙන් පසු ඉතිරිවන පරිභෝජනයට නුසුදුසු එළවළු තොග ඒකරාශි කරන කසළ ගොඩක් බවට පත්ව ඇතැයි චෝදනා කරමින් එහි ව්‍යාපාරික ප්‍රජාව උද්ඝෝෂණයක නිරත වී තිබේ. මැනිං වෙළෙඳ සංගමයේ සභාපති අජිත් කළුතරගේ මහතා ඇතුළු නිලධාරීන් පෙන්වා දෙන ආකාරයට, මෙම නරක් වූ එළවළු තොග හේතුවෙන් ව්‍යාපාරිකයන් දැඩි පාඩු ලබනවා පමණක් නොව, පාරිභෝගිකයන් මැනිං වෙළෙඳපොළ කෙරෙහි තබා තිබූ විශ්වාසයද දැඩි ලෙස පළුදු වී ඇත.
මීගොඩ, දඹුල්ල, කැප්පෙටිපොළ සහ වේයන්ගොඩ වැනි ආර්ථික මධ්‍යස්ථානවලින් ඉවතලන පරණ එළවළු තොග මෙහි ගෙන ඒම නිසා උඩරට සහ පහතරට සාම්ප්‍රදායික ගොවීන්ගේ උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන අලෙවි කළ මෙම වෙළෙඳපොළේ අලෙවිය සියයට පනහකින් පමණ අඩුවී ඇති බව මැනිං වෙළෙඳ සංගමයේ ලේකම් සමින්ද පීරිස් මහතා සඳහන් කරයි. නාගරික සංවර්ධන අධිකාරියේ පවතින දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් සහ අක්‍රමිකතා හේතුවෙන් මෙවැනි අසෝබන තත්ත්වයන් උද්ගත වී ඇති බවට ව්‍යාපාරිකයෝ දැඩි චෝදනා නඟති.
මෙම අර්බුදය හමුවේ තවදුරටත් නිහඬව සිටිය නොහැකි බව පවසන නියෝජ්‍ය සභාපති ප්‍රභාත් සුසන්ත මහතා අවධාරණය කර සිටින්නේ, මින් ඉදිරියට ආර්ථික මධ්‍යස්ථානවලින් මෙම ස්ථානයට එළවළු රැගෙන එන ලොරි රථ කිසිදු අයුරකින් ඇතුළු වීමට නොදී ආපසු හරවා යැවීමට කටයුතු කරන බවයි. දේශීය ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දී සිටින මෙම අසාධාරණ තත්ත්වයට කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වීමට සිදුවනු ඇති බවට ඔවුන් බලධාරීන්ට අනතුරු අඟවා සිටී.














