විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ මහජනතාව මුහුණ දෙන ගැටලු හා දුක්ගැනවිලි සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසමින් විශේෂ මහජන දින වැඩසටහනක් සැප්තැම්බර් 16 දින කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබේ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර විශ්‍රාමික මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩසටහනේදී ඉදිරිපත් වූ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කර, ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
රණවිරු සේවා අධිකාරිය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ඉදිරිපත් වූ ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදුකර ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.














