යාපනය ශික්ෂණ රෝහල, යාපනය හෙද විදුහල ඇතුළු උතුරු පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන සඳහා අලුතින් බඳවාගත් සෞඛ්‍ය කාර්ය සහායකයින් 350 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය සැප්තැම්බර් 18 පස්වරුවේ කන්කසන්තුර පාරේ තිවියාමහල්හිදී සිදු කිරීමට නියමිතය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වීමට නියමිතය.
රේඛීය අමාත්‍යාංශය යටතේ බඳවාගත් සෞඛ්‍ය කාර්ය සහායකයින් 45 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහලටත්, 5 දෙනෙකු යාපනය හෙද විදුහලටත් අනුයුක්ත කිරීමට නියමිත අතර, උතුරු පළාත් සභාව යටතේ බඳවාගත් 300 දෙනෙකු පළාතේ අනෙකුත් රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට නියමිතය.
ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ මගින් කුසලතා මත තෝරාගත් අපේක්ෂකයින්ට මෙම පත්වීම් ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය සඳහන් කරයි. දිවයිනේ අනෙකුත් රෝහල් සහ සෞඛ්‍ය ආයතන සඳහා මීට පෙර සෞඛ්‍ය කාර්ය සහායකයින් 1,860 දෙනෙකුට පත්වීම් ලබාදී ඇති බවද එම අමාත්‍යාංශය පවසයි.














