දරුවන් බුද්ධ ශාසනයට සසුන්ගත කළ, ස්ථිර නිවසක් නොමැති ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන මවුපියන් සඳහා නිවාස ලබාදීමේ ‘යතිවර මාපිය නිවහන’ ජාතික වැඩසටහනේ සමාරම්භක වැඩසටහන හෙට (19) බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩුමහුවෙල ග්‍රාම නිලධාරී වසමේ ඉදිකිරීමට නියමිත නිවසක් සඳහා එහිදී මුල්ගල් තැබීමට සැලසුම් කර තිබෙනවා.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, තෝරාගනු ලබන ප්‍රතිලාභීන් සඳහා එක් නිවසක් ඉදිකිරීමට රුපියල් ලක්ෂ 15ක මූල්‍යාධාරයක් ලබාදීමට නියමිතයි.
වැඩසටහන යටතේ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි නිවාස 1,000ක් දක්වා ඉදිකිරීමට රජය අපේක්ෂා කරන අතර, හෙට බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නිවාස ඉදිකිරීමට අදාළ හිමිකම් පත්‍ර ප්රදානය කිරීමටද සැලසුම් කර තිබෙනවා.














