නයිජීරියාවේ නීතිවිරෝධී රන් පතල් බවට සැකකෙරෙන ස්ථාන ඉලක්ක කර සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් 37 දෙනෙකු අතුරු හමුදා ආරක්ෂක ආයතනයක භාරයේ සිටියදී මියයාමත් සමඟ නයිජර් ප්‍රාන්තයේ මින්නා නගරයේ විරෝධතා හටගෙන තිබේ. සැප්තැම්බර් 15 සහ 16 යන දිනවල වුෂිෂි-ලුකෝටෝ ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව නයිජීරියා ආරක්ෂක හා සිවිල් ආරක්ෂක බලකාය (NSCDC) සඳහන් කර ඇති අතර, ප්‍රාන්ත බලධාරීන් සිකුරාදා තහවුරු කර ඇත්තේ රැඳවියන් 37 දෙනෙකු මියගොස් ඇති බවයි.
මරණවලට රෝග ව්‍යාප්තියක් හේතුවන්නට ඇති බව NSCDC මුලින් සඳහන් කළද, පසුව එම මරණවලට නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බවත් වෛද්‍ය පරීක්ෂණ මඟින් එය තීරණය කරනු ඇති බවත් ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පූර්‌ණ විමර්‌ශනයක් පැවැත්වීමට නියෝග කර ඇති නයිජීරියා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඔලුබුන්මි තුන්ජි-ඔජෝ, නයිජර් ප්‍රාන්ත NSCDC අණදෙන නිලධාරී සුබේරු සියකා අනිවියේ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කර ඇත.
රැඳවියෙකුගේ මවක් රොයිටර්ස් වෙත චෝදනා කර ඇත්තේ සිය පුත්‍රයා ඇතුළු පිරිස සීමිත ඉඩක රඳවා සිටි බවත්, ඥාතීන්ට ආහාර ලබාදීමට අවසර නොදුන් බවත්, නිදහස් කිරීම සඳහා නයිරා 100,000ක් ඉල්ලා සිටි බවත්ය. NSCDC බලධාරීන් එම චෝදනාවලට ප්‍රතිචාර දක්වා නොමැති අතර, මරණවලට යුක්තිය ඉල්ලා මින්නා නගරයේ තරුණයන් විරෝධතාවල නිරතව තිබේ. සිකුරාදා උදෑසන වනවිට තත්ත්වය සන්සුන් වී තිබුණද නගරයේ ප්‍රදේශ කිහිපයක ආරක්ෂාව දැඩි කර තිබූ බව වාර්‌තා වේ.













