නාගපට්ටනම් සහ කන්කසන්තුරේ අතර ක්‍රියාත්මක වන මගී නෞකා සේවය සඳහා ඉන්දියානු රජය විසින් ලබා දෙන මූල්‍ය ආධාර තවත් වසරකට දීර්ඝ කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. 2024 අගෝස්තු මාසයේදී මෙම නෞකා සේවය යළි ආරම්භ කළ දා සිට ඉන්දීය රජය මගින් අඛණ්ඩව මූල්‍ය ආධාර ලබා දෙන තුන්වන වසර මෙය වන අතර, දෙරට අතර කලාපීය සම්බන්ධතාවය සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම ඉන් අපේක්ෂා කෙරේ.
මෙම මූල්‍ය ආධාරය ‘හැකියාව පරතරය අරමුදල් සම්පාදන’ (Viability Gap Funding) යාන්ත්‍රණය යටතේ වාර්ෂිකව ආසන්න වශයෙන් රුපියල් මිලියන 300ක පමණ මුදලක් ලෙස ලබා දෙනු ලැබේ. සේවයේ දැරිය හැකි මිලකට පවත්වාගෙන යාම සහ මෙහෙයුම් ස්ථාවරත්වය තහවුරු කිරීම මෙහි අරමුණයි. 2024 අගෝස්තු මාසයේ සිට මේ දක්වා මගීන් 52,000කට වැඩි පිරිසකට මෙම නෞකා සේවය හරහා පහසුකම් සැලසී ඇති අතර, ඉදිරියේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 65ක ඉන්දීය ප්‍රදාන ආධාර යටතේ කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීමට ද නියමිතය.














