උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පසුගිය මැයි 24 වැනිදා පැවැති මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 163,433 දෙනෙකු පෙනී සිටි අතර, එහි ප්‍රතිඵල මත පදනම්ව උපාධිධාරීන් 23,000ක් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතය. මෙලෙස බඳවා ගැනෙන පිරිස අතරින් 15,000ක් දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් වන අතර, ඉතිරි 8,000 දෙනා විවෘත පදනම මත බඳවා ගනු ලැබේ.
මෙම තේරීම්වලට අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, දෙසැම්බර් මාසය වන විට අදාළ පත්වීම් ලබාදීමට කටයුතු යොදා ඇත. මීට අමතරව, විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 6,500ක් ද ලබන පෙබරවාරි මාසයේදී ගුරු සේවයට එක්කර ගැනීමට අපේක්ෂා කරන අතර, දැනට මෙරට පාසල් පද්ධතිය තුළ පවතින ගුරු පුරප්පාඩු 40,000 කට අධික සංඛ්‍යාවක් පිරවීම සඳහා මෙම නව බඳවාගැනීම් සිදු කෙරේ.














