සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් මරණ දඬුවම නියම වී ඇති බවට වාර්තා වන ශ්‍රී ලාංකික තරුණයා වන සිවරාසා අනුජන් සඳහා සමාව ලබා දෙන ලෙස හිටපු විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා සෞදි බලධාරීන්ගෙන් ඉල්ී තිබේ. අදාළ තරුණයාට මීට පෙර පනවා තිබූ වසර 5 ක සිර දඬුවම මරණ දඬුවමක් දක්වා වැඩි කර ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති ඒ මහතා, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය තවමත් මරණ දඬුවම නිල වශයෙන් තහවුරු කර නොමැති අතර නිල ලිඛිත තීන්දුව ලැබෙන තෙක් බලා සිටින බවද පෙන්වා දී ඇත.
සෞදි අරාබියේ ස්වෛරීභාවයට සහ නීති පද්ධතියට ගරු කරන අතරම අසමානුපාතික දඬුවමක් හමුවේ නිහඬව සිටිය නොහැකි බව සඳහන් කළ අලි සබ්‍රි මහතා, සමාජ මාධ්‍ය සටහනක් වෙනුවෙන් මරණ දඬුවම ලබා දීම අමානුෂික සහ පිළිගත නොහැකි ක්‍රියාවක් බව අවධාරණය කළේය. අනුජන් විසින් එම සටහන විනාඩි කිහිපයක් ඇතුළත ඉවත් කර වීඩියෝවක් ඔස්සේ ප්‍රසිද්ධියේ සමාව අයැද ඇති බව පෙන්වා දුන් හෙතෙම, යුක්තිය පසිඳලීමේදී දයාවට සහ අනුකම්පාවට ඉඩ තිබිය යුතු බව පවසමින් රජයෙන්ද ඉල්ලා සිටියේ අදාළ තරුණයා වෙනුවෙන් කඩිනමින් රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීම් සහ නීතිමය ආධාර ලබා දෙන ලෙසයි.














