මහවැලි ගඟ පිටාර ගැලීමෙන් සිදුවිය හැකි ආපදාවලින් ජනතාව බේරා ගැනීම සඳහා නාවික හමුදාව සහ යුද හමුදාව නාවලපිටිය ප්‍රදේශයේ ස්ථානගත කර ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
ඒ අනුව, නාවික හමුදාව විසින් ජීවිතාරක්ෂක බෝට්ටු රැගෙනවිත් නාවලපිටිය පොලිසියේ තබා ඇති අතර, ගඟ ජලය පිටාර ගැලීම හේතුවෙන් නාවලපිටිය කිතුල්කොටේ සහ ලබුවැල්කොටුව යන ප්‍රදේශවල පවුල් 13කට අයත් සාමාජිකයන් 30 දෙනෙකු පමණ නාවලපිටිය ඉඹුල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ තාවකාලිකව රඳවා තිබේ. මේ පිළිබඳව සොයා බැලීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී තුෂාරි ජයසිංහ මහත්මියද ඊයේ (20) පස්වරුවේ එම ස්ථානය වෙත පැමිණ ඇති අතර, මේ වන විට ප්‍රදේශයේ ජලයෙන් යට වූ නිවාසවල ජලය පහව යමින් සහ වර්ෂා ජලය අඩුවෙමින් පවතින බව වාර්තා වේ.













