කළු ජාතික සේවකයන්ට වාර්ගික පදනමින් වෙනස්කම් සිදුකළ බවට චෝදනා කරමින් ටෙස්ලා (Tesla) සමාගමට එරෙහිව කැලිෆෝනියා සිවිල් අයිතිවාසිකම් දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හිදී ආරම්භ වී ඇති මෙම නඩු විභාගය ඔක්තෝබර් 30 දක්වා පැවැත්වීමට නියමිතය. 2022 වසරේදී ගොනු කරන ලද මෙම නඩුවෙන් චෝදනා කර ඇත්තේ ටෙස්ලා සමාගමේ කැලිෆෝනියාවේ ෆ්‍රීමන්ට් (Fremont) කර්මාන්තශාලාවේ සේවය කළ කළු ජාතික සේවකයන්ට පුළුල් වාර්ගික හිංසනයන්ට මුහුණදීමට සිදුවූ බවයි.
එහිදී වාර්ගික අපහාසාත්මක ප්‍රකාශ සහ බිත්තිවල සටහන් යෙදීම වැනි සිදුවීම් පාලනය කිරීමට සමාගම ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවත්, කළු ජාතික සේවකයන්ට අඩු වැටුප් ගෙවීම සහ උසස්වීම් සීමා කිරීම සිදු කර ඇති බවත් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මෙම චෝදනා ටෙස්ලා සමාගම විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති අතර, වාර්ගික වෙනස්කම් නොඉවසන බවත් විෂමාචාරවල නිරත වූවන් සේවයෙන් ඉවත් කර ඇති බවත් ප්‍රකාශ කර තිබේ. මීට අමතරව, සමාගමට එරෙහිව සේවකයන් විසින් පෞද්ගලික නඩු ගණනාවක්ද ගොනු කර ඇති බව වාර්තා වේ.













