එංගලන්ත සංචාරය සඳහා සූදානම් වීමට දින 10කට පමණ පෙර කණ්ඩායම එරටට පිටත්ව ගියද, කැරිබියානු ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ප්‍රමාද වී කණ්ඩායමට එක්වීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රශ්න කර තිබෙනවා.
ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට එකට පුහුණුවීම් කිරීමට අවස්ථාව සැලසීම ක්‍රිකට් ආයතනයේ වගකීමක් බව පෙන්වා දී ඇති ඔහු, ජාතික කණ්ඩායමේ වගකීම්වලට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවද අවධාරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය පළමු කණ්ඩායමට ක්‍රීඩකයන් පිරිසක් පමණක් ඇතුළත්ව සිටි අතර, තවත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු පළමු පුහුණු තරගයෙන් පසුව කණ්ඩායමට එක්වූ බවද සඳහන්.
ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන් මහතා ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු පිරිසක්ද මුල් කණ්ඩායම සමඟ පිටත්ව ගොස් නොතිබූ බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා දස්කම් සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ට පමණක් දෝෂාරෝපණය නොකරන ලෙස ඉල්ලා සිටි අර්ජුන රණතුංග මහතා, ක්‍රිකට් පරිපාලනයේ අඩුපාඩුද ඊට බලපා ඇති බව පෙන්වා දී තිබෙනවා. එමෙන්ම පෙර පැවති ක්‍රිකට් පරිපාලන කාලවලදී විදේශ සංචාර සහ මුදල් ගෙවීම් හරහා මාධ්‍යයේ ඇතැම් කොටස්වලට බලපෑම් කළ බවටද ඔහු චෝදනා කර තිබෙනවා.
1996 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූ අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සතුව තවමත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් සිටින නමුත්, වඩාත් හොඳ පරිපාලනයක්, නායකත්වයක් සහ සූදානමක් අවශ්‍ය බවයි.
















