දේශීය නාවික ඉංජිනේරු ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෝට්ටු නිෂ්පාදන අංගණය (NBBY) මඟින් ඔරු පැදීමේ සහ කැනෝ පැදීමේ තරග සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද මෙරට ප්‍රථම දේශීය රළ තරංග රහිත විනිසුරු යාත්‍රාව (Waveless Referee Boat) බත්තරමුල්ල දියවන්නාව නාවික ජල ක්‍රීඩා මධ්‍යස්ථානය වෙත භාර දී තිබේ. නාවික උපායමාර්ගික සැලැස්ම 2030ට (NAVSTRAT-2030) අනුකූලව ISO ප්‍රමිතීන්ට යටත්ව මෙම යාත්‍රාව නිපදවා ඇත.
ඔරු පැදීමේ තරගවලදී ජල මතුපිට ඇතිවන සුළු තරංග පවා තරගකරුවන්ට බලපෑම් කළ හැකි බැවින්, ජලයේ රළ ඇතිවීම අවම කරමින් ඉහළ ස්ථායිතාවකින් යුත් කැටමරන් (Catamaran) වර්ගයේ යාත්‍රාවක් ලෙස මෙය නිර්මාණය කර ඇත. NC/WL/001 ලෙස නම් කර ඇති මෙම යාත්‍රාව මීටර් 5.53ක දිගකින් සහ මීටර් 2.30ක පළලකින් යුක්ත වන අතර, අශ්වබල 25ක පෙට්‍රල් එන්ජිමකින් ක්‍රියාත්මක වේ. සාම්ප්‍රදායික නාවික මෙහෙයුම්වලින් ඔබ්බට ගොස් ජාතික ක්‍රීඩා ක්ෂේත්රය නගාසිටුවීමට දේශීය ඉංජිනේරු නවෝත්පාදන දායක කරගත හැකි බව මෙමඟින් මනාව තහවුරු කර තිබේ.














