නැගෙනහිර පළාතේ මයිලත්තමඩු සහ මාධවනෙයි පාරම්පරික තණබිම් ගැටුම මුල් කරගනිමින් සිංහල සහ දෙමළ ජනතාව අතර ජාතිවාදී නොසන්සුන්තාවන් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත්, ඊට රජය වහාම විසඳුම් ලබා දිය යුතු බවත් ඉලංගෙයි තමිළ් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍කියන් රාසාමානික්කම් මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න යොමු කරමින් ඔහු මේ බව සඳහන් කළ අතර, නීතිවිරෝධී ලෙස පදිංචි වී සිටින පිරිස් ඉවත් කර මඩකලපුවේ පශු සම්පත් ගොවීන් සඳහා ප්‍රමාණවත් තණබිම් ස්ථිර ලෙස මායිම් කර ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට රජය නිශ්චිත කාලරාමුවක් ප්‍රකාශ කළ යුතු බවද අවධාරණය කළේය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා සඳහන් කළේ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ කරුණු සියල්ල සත්‍ය බවත්, රජය ඒවා ප්‍රතික්ෂේප නොකරන බවත්ය. එමෙන්ම මෙම ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.














