ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබාගෙන රටින් පිටවූ අපරාධකරුවන්ගේ ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබෙනවා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ප්‍රසිද්ධ නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර ඇති පාතාල කල්ලි සාමාජිකයෙකුගේ විදෙස් ගමන් බලපත්‍රය තහනම් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.
ව්‍යාජ උප්පැන්න සහතික, ජාතික හැඳුනුම්පත් ඇතුළු ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බව තහවුරු වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් මූලික නීතිමය පියවර ගැනීමට ආගමන හා විගමන පාලකවරයාට හැකියාව පවතින බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් ඔහුගේ නම විවෘත අධිකරණයේ සඳහන් කළ නොහැකි බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබුණා. සිද්ධියට අදාළ මූලික නීතිමය පියවර ගෙන ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
















