මරදාන, පංචිකාවත්ත ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසක් කප්පම් ලබාගන්නා බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී, එය ජංගම දුරකථනයක් අලුත්වැඩියා කිරීම මුල් කරගත් පෞද්ගලික ආරවුලක් බව අනාවරණය වී තිබෙනවා.
පොලිසිය සඳහන් කරන්නේ, 2026 අගෝස්තු 30 වැනිදා පිටකොටුව ප්‍රධාන වීදියේ පොලැක් මාර්කට් වෙළඳ සංකීර්ණයේ දුරකථන අලුත්වැඩියා වෙළඳසැලකට Apple 13 Pro Max වර්ගයේ දුරකථනයක් ඩිස්ප්ලේ අලුත්වැඩියාව සඳහා ලබාදී රුපියල් 16,000ක් ගෙවා ඇති බවයි. අලුත්වැඩියාව නිසි පරිදි සිදුකර නොමැති බව පවසමින් පසුදින වෙළඳසැලට පැමිණි ගනුදෙනුකරු සමඟ ඇති වූ බහින්බස් වීමකදී ඔහුගේ දුරකථනය වෙළඳසැල් හිමිකරු විසින් උදුරාගෙන භාරයේ තබාගෙන තිබෙනවා.
පසුව සැප්තැම්බර් 20 වැනිදා එම ගනුදෙනුකරු කඩුවක් අතැතිව වෙළඳසැලට පැමිණ කලහකාරී ලෙස හැසිරී, දුරකථනය සහ අලුත්වැඩියාවට ගෙවූ මුදල නැවත ඉල්ලා තිබෙනවා. එහිදී වෙළඳසැලේ දේපළවලටද හානි සිදුකර ඔහු කාර් රථයකින් පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශන සිදුකළ පිටකොටුව පොලිසිය, පලාගිය රථයේ ලියාපදිංචි හිමිකරු හඳුනාගැනීමෙන් අනතුරුව සැප්තැම්බර් 23 වැනිදා ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 44 හැවිරිදි ඔහු බත්තරමුල්ල, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්. සිද්ධියට යොදාගත් කාර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, කඩුව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
















