මුහුදු මාර්ග ඔස්සේ සම්බාධක මඟහැරීමේ ක්‍රියාකාරකම් හඳුනාගෙන ඊට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකාවේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා දින තුනක පුහුණු වැඩසටහනක් කොළඹදී පවත්වා තිබේ. සැප්තැම්බර් 9 සිට 11 දක්වා පැවති මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ Cooperative Threat Reduction කාර්යාලය සහ Atlantic Council එක්ව සංවිධාන කර තිබේ.
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 40කට අධික පිරිසක් ඊට එක්ව තිබේ. සැකසහිත නෞකා සහ රැවටිලිකාරී නාවික ක්‍රියාකාරකම් හඳුනාගැනීම, සම්බාධක හා ව්‍යාප්ති අවදානම් තක්සේරු කිරීම සහ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී පුහුණුව ලබාදී ඇත.
Atlantic Council හි සම්බාධක සහ සමුද්‍ර ආරක්ෂක විශේෂඥයන්ගේ දේශන සහ ප්‍රායෝගික අභ්‍යාස ඔස්සේ නෞකා හඳුනාගැනීමේ හා නිරීක්ෂණ තොරතුරු වෙනස් කිරීම, අපැහැදිලි හිමිකාරිත්ව ව්‍යුහ, නෞකා අතර භාණ්ඩ හුවමාරු කිරීම් සහ ව්‍යාජ ලේඛන භාවිතය ඇතුළු නීතිවිරෝධී සමුද්‍ර ක්‍රියාකාරකම් සැඟවීමට භාවිත කරන ක්‍රම පිළිබඳවද අවධානය යොමු කර තිබේ.
















