ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කර තිබූ හෑෂ් කිලෝග්‍රෑම් 44ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 13ක් කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී කැනඩා දේශසීමා සේවා ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැප්තැම්බර් 3 වැනිදා මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බව කැනඩා දේශසීමා සේවා ඒජන්සියේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.
අදාළ මත්ද්‍රව්‍ය ගමන් මලු තුළ සඟවා තිබියදී සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන කැනඩා රාජකීය අශ්වාරෝහක පොලිසිය වෙත භාරදී තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධ චෝදනා හෝ අනන්‍යතාව පිළිබඳ වැඩිදුර තොරතුරු එරට බලධාරීන් විසින් මෙතෙක් අනාවරණය කර නොමැත.
කැනඩා දේශසීමා සේවා ඒජන්සිය සඳහන් කළේ අවදානම් කළමනාකරණ ක්‍රමවේද, බුද්ධි තොරතුරු, හඳුනාගැනීමේ උපකරණ සහ වංචාකාරී ක්‍රියාකාරකම් පිළිබඳ දර්ශක භාවිත කරමින් වැඩිදුර පරීක්ෂා කිරීම් අවශ්‍ය ගමන් මලු හඳුනාගන්නා බවයි.
















