පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක් සඳහා පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. අද (26) පස්වරු 4:00 සිට හෙට (27) පස්වරු 4:00 දක්වා ක්රියාත්මක වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක් සඳහා තවදුරටත් මට්ටම 3 යටතේ වන ඉවත් වීමේ රතු නිවේදන බලපැවැත්වේ.
ඒ අනුව මහනුවර දිස්ත්රික්කයේ පස්බාගේ කෝරලේ, උඩපලාත, ගඟ ඉහල කෝරලේ, දොළුව සහ නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව, නෝර්වුඩ්, කොත්මලේ බටහිර හා නැගෙනහිර යන ප්රදේශවල ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත. මීට අමතරව ගාල්ල, කෑගල්ල, රත්නපුර, කළුතර, කොළඹ සහ මාතර දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක් සඳහා මට්ටම 2 සහ මට්ටම 1 යටතේ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබේ.
















