පොළොන්නරුව ජාතික වෘක්කවේද (වකුගඩු) රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙය පරිශ්‍රයේ අද (26) අලුයම සිදුවූ හදිසි පිපිරීමකින් රෝහල් සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම අනතුර වන්නට ඇති බවට සැක කෙරෙන අතර, සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් පස්දෙනෙකු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.
අනතුරින් මියගොස් ඇත්තේ 34 හැවිරිදි එක්දරු පියෙකි. සිද්ධිය සැලවීමත් සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පස්වරුවේ එම රෝහල වෙත පැමිණ තුවාලකරුවන්ගේ සුවදුක් විමසා බැලූ අතර, අනතුර සිදුවූ පරිශ්‍රය නිරීක්ෂණය කරමින් රෝගී සේවාවන්ට බාධාවකින් තොරව ඉදිරි කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත.
















