නීති විරෝධී ධීවර කටයුතු සහ ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදුකරන නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් විශේෂ කමිටු පිහිටුවීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මීගමුව, හලාවත, පුත්තලම සහ මන්නාරම ඇතුළු ධීවර දිස්ත්‍රික්ක 15ක් ආවරණය වන පරිදි මෙම කමිටු ස්ථාපිත කිරීමට නියමිත බව ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි. කමිටුවල සම සභාපතිවරුන් ලෙස ධීවර අධ්යක්ෂ ජනරාල්වරයා සහ අදාළ දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කිරීමට නියමිතය.
දිස්ත්‍රික් ලේකම්වරුන්, ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන්, ධීවර සමිති නියෝජිතයින්, පොලීසිය, නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ ජලජීවී වගා සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතනවල නියෝජිතයින් මෙම කමිටුවලට ඇතුළත් කිරීමට නියමිත බව සඳහන් වේ. අවශ්‍යතාව අනුව NARA ඇතුළු අනෙකුත් අදාළ ආයතනවල නිලධාරීන්ද සම්බන්ධ කර ගැනීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වී තිබේ.
විශේෂයෙන් නැගෙනහිර පළාතේ මුහුදු ප්‍රදේශ ආශ්රිත නීති විරෝධී ධීවර කටයුතු වැළැක්වීම, ධීවර වෘත්තියේ නිරත පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ධීවර සම්පත් ආරක්ෂා කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ. ධීවර අමාත්‍යාංශයේ පෙර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම්වලදීද නීති විරෝධී ධීවර කටයුතු පාලනය සහ ධීවර ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කර තිබුණි.














