පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක් එකතු කිරීමේ විශේෂ පෙත්සම් වැඩසටහනක් අද (26) මිහින්තලේ පූජා භූමියේදී ආරම්භ කර තිබේ.
මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ පිරිසක් එහිදී පෙත්සමට අත්සන් තැබූ බව වාර්තා වේ. ධම්මරතන හිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඥානසාර හිමියන්ට නව ජනාධිපති සමාවක් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.
ඥානසාර හිමියන්ට මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව ලබාදී තිබුණද, එම සමාව සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය සැප්තැම්බර් 10දා එම සමාව අවලංගු බව තීන්දු කළේය. අධිකරණ තීන්දුව අනුව එම ජනාධිපති සමාව ලබාදීම නීතියට පටහැනි බව ප්‍රකාශ කර තිබේ.
2018දී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන් වරදකරු කර වසර හයක සිර දඬුවමක් නියම කර තිබූ අතර, පසුව 2019දී හිටපු ජනාධිපතිවරයාගේ සමාව යටතේ නිදහස් කර තිබිණි. මේ වනවිට ක්‍රියාත්මක පෙත්සම් ව්‍යාපාරයේ අත්සන් මහනායක හිමිවරුන් වෙත ඉදිරිපත් කර අනතුරුව ජනාධිපතිවරයා වෙත භාරදීමට කටයුතු කරන බව සංවිධායක පාර්ශ්වය සඳහන් කරයි.














