රක්වාන, කන්දකුඹුර ප්‍රදේශයේදී බීමතින් පැමිණි සිවිල් ආරක්ෂක නිලධාරියෙකු සමඟ ඇති වූ බහින්බස් වීමකින් පසු ඔහුගේ බිරිඳ මියගොස් ඇති බව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ 39 හැවිරිදි දෙදරු මවක් බව සඳහන් වේ.
පොලිසිය සඳහන් කරන්නේ සැකකරු පසුගිය 25 වැනිදා සේවය නිමවා නිවසට පැමිණීමෙන් පසු බිරිඳ සමඟ බහින්බස්වීමක් ඇති කරගෙන ඇති බවයි. එහිදී කෝපි පොල්ලකින් ඇයට පහර දී ඇති බවට පොලිසිය සැක කරන අතර, පහරදීමට භාවිත කළ බව කියන කෝපි පොල්ලද නිවසේ තිබී සොයාගෙන තිබේ.
කෙසේ වෙතත්, සැකකරු පොලිසියට පවසා ඇත්තේ බහින්බස්වීමක් අතරතුර තමන් බිරිඳව තල්ලු කළ බවත්, එහිදී ඇගේ හිස ඇඳේ කොටසක වැදුණු බවත්ය. එම ප්‍රකාශය සහ සිද්ධියට අදාළ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මරණයට නිශ්චිත හේතුව තහවුරු කිරීම සඳහා මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කර තිබේ. අධිකරණ වෛද්‍ය වාර්තාව මත ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීමට නියමිතය.
















