නේපාලයේ මනං දිස්ත්‍රික්කයේ මීටර් 7,126ක් උසැති හිම්ලුං හිමාල් කඳු මුදුන ආසන්නයේ සිදුවූ දැවැන්ත හිම නායයාමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
හිම්ලුං හිමාල් මූලික කඳවුර ආසන්නයේ ඉරිදා (27) උදෑසන සිදුවූ මෙම අනතුරින් කඳු නැගීමේ මාර්ගෝපදේශකයින් සහ සහායක කාර්ය මණ්ඩලයේ පිරිසක් අතුරුදන් වී තිබූ අතර, පසුව මුදාගැනීමේ කණ්ඩායම් විසින් පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.
අයහපත් කාලගුණය සහ දැඩි හිමපතනය හේතුවෙන් ගුවන් මගින් සිදුකරන මුදාගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බව නේපාල බලධාරීන් සඳහන් කර තිබේ. මුදාගැනීම සඳහා පළපුරුදු කඳු නැගීමේ මාර්ගෝපදේශකයින්ගෙන් සමන්විත කණ්ඩායම්ද යොදවා ඇති බව වාර්තා වේ.
විදේශීය කඳු නගින්නන් පැමිණීමට පෙර මූලික කඳවුර සකස් කිරීම සහ කඳු නැගීමේ මාර්ග සඳහා කඹ සවි කිරීම ඇතුළු කටයුතු සඳහා නේපාල ජාතික කණ්ඩායම් එම ප්‍රදේශයට ගොස් සිටි අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබේ. නේපාලයේ කඳුකර ප්‍රදේශවල පවතින අඛණ්ඩ වැසි සහ හිමපතනය හේතුවෙන් කඳු නැගීමේ කටයුතුද බාධාවට පත්ව තිබේ.
















