ශ්‍රවණාබාධිත ප්‍රජාවගේ සංඥා භාෂා භාවිත කිරීමේ සහ සන්නිවේදනයේ අයිතිය තහවුරු කිරීම සඳහා සංඥා භාෂා පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පවසයි.
ජාත්‍යන්තර සංඥා භාෂා දිනයට සමගාමීව ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය සහ කෑගල්ල දිස්ත්‍රික් බිහිරි සංවිධානය එක්ව සංවිධාන කළ ජාතික සැමරුම් හා දැනුවත් කිරීමේ වැඩසටහනකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ. එම වැඩසටහන සැප්තැම්බර් 27 වැනිදා කෑගල්ල නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ශ්‍රවණාබාධිත ප්‍රජාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් ලෙස සන්නිවේදන දුෂ්කරතා පවතින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්රයේදී සංඥා භාෂාව පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් සහිත ගුරුවරුන්ගේ අවශ්‍යතාවද අවධාරණය කළේය. බිහිරි දෙමව්පියන්ට උපදින ශ්‍රවණ හැකියාව ඇති දරුවන්ගේ අධ්‍යාපනය සහ ඔවුන් මුහුණ දෙන සමාජීය අභියෝග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබේ.
සෑම වසරකම සැප්තැම්බර් 23 වැනිදා ජාත්‍යන්තර සංඥා භාෂා දිනය සමරන අතර, 2026 වසරේ එහි තේමාව වී ඇත්තේ **“Declaring Deaf People’s Human Rights”** යන්නයි. එක්සත් ජාතීන් පෙන්වා දෙන්නේ සංඥා භාෂා අයිතිවාසිකම් ශ්‍රවණාබාධිත පුද්ගලයන්ගේ මානව හිමිකම් පූර්ණ ලෙස භුක්ති විඳීම සඳහා වැදගත් වන බවයි.
















