භෞමික රූපවාහිනී ඩිජිටල්කරණ වැඩසටහන හෙවත් DTTB (Digitalization of Terrestrial Broadcasting) හඳුන්වාදීමේ විශේෂ උත්සවය අද (28) පස්වරුවේ කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී පැවැත්විණි. “The Next Wave of Television” යන තේමාව යටතේ පැවති මෙම උත්සවය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබිණි. උත්සවයේ පිළිගැනීමේ කතාව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් සිදු කරන ලදී.
මෙමඟින් රූපවාහිනී නරඹන්නන්ට වඩා පැහැදිලි දර්ශන ලබාදීමට සහ විදුලි සංදේශ යටිතල පහසුකම් ඉහළ නැංවීමට හැකි වන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පෙන්වා දුන්නේය. රාජ්‍ය සහ පෞද්ගලික රූපවාහිනී ක්ෂේත්රයට සාධාරණ ක්‍රමවේදයක් යටතේ මෙම පහසුකම් ලබාදීමටත්, මාධ්‍ය නිදහස තහවුරු කිරීමටත් අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය. වසර 10ත් 12ත් අතර කාලයක් බලා සිටි මෙම ව්‍යාපෘතිය සඳහා ජපාන තානාපති කාර්යාලය ලබාදෙන සහයෝගය අමාත්‍යවරයා විසින් විශේෂයෙන් අගය කරන ලදී. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසිමාටා මහතාද උත්සවය අමතමින් අනාගත ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම ව්‍යාපෘතියේ වැදගත්කම පැහැදිලි කළේය. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ DTTB ව්‍යාපෘති අධ්යක්ෂ ඉංජිනේරු ප්‍රසංග රාජපක්ෂ යන මහත්වරුන් ද මෙහිදී ව්‍යාපෘතියේ ඉදිරි සැලසුම් සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව දැනුවත් කළහ. DTTB ව්‍යාපෘතියේ විකාශන කටයුතු 2028 වසරේ දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.
















