කිලිනොච්චිය, ජයපුරම් කිරාන්චි පොදු ක්‍රීඩාංගණයේ පැවති පාපන්දු තරගයක් අතරතුර දෙපිරිසක් අතර ඇති වූ ප්‍රචණ්ඩ ගැටුමක් පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා තිබේ.
කණ්ඩායම් දෙකක් අතර පැවති තරගාවලියකදී විනිසුරුවරයා ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් පසුව පහරදීමක් දක්වා දුරදිග ගොස් ඇති බව සඳහන් වේ.
අනතුරුව දෙපිලේ ක්‍රීඩකයන් අතර ගැටුමක් හටගෙන ඇති අතර, තරගය නැරඹීමට පැමිණ සිටි 400කට ආසන්න පිරිසක්ද ක්‍රීඩා පිටියට පැමිණීමත් සමඟ තත්ත්වය දැඩි කලහකාරී වී තිබේ. එහිදී පොලු, මුගුරු සහ යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් භාවිත කරමින් පහරදීම් සිදුව ඇති බව වාර්තා වේ.
ගැටුම පාලනය කිරීමට පොලිසිය උත්සාහ කළද තත්ත්වය පාලනයෙන් තොරවීම හේතුවෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් පොලිස් කොස්තාපල්වරයෙකු සතුව තිබූ ටී-56 වර්ගයේ රාජකාරි ගිනිඅවිය ලබාගෙන අහසට වෙඩි උණ්ඩ 10ක් පමණ මුදාහැර ඇති බව සඳහන් වේ.
ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයන් පස්දෙනෙකු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ. පොලිසිය විසින් අහසට තැබූ වෙඩි ප්‍රහාරවලින් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති බවද පොලිසිය තහවුරු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ජයපුරම් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.














