ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම සහ නීතිය අවභාවිත කිරීම සම්බන්ධයෙන් තානාපති කාර්යාල දැනුවත් කිරීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි. එහි පළමු පියවර ලෙස අද ඇමෙරිකානු තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගත් බවත්, ඉදිරියේදී අනෙකුත් තානාපති කාර්යාලද මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ආණ්ඩුවේ දේශපාලන වේදිකාවේ සිටි විශ්‍රාමලත් පොලිස් නිලධාරියෙකු යොදවා පොලිසිය පාලනය කිරීම, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කළ ආකාරය සහ නීතිමය ප්‍රතිපාදන අවභාවිත කරමින් පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමකින් තොරව රිමාන්ඩ් කිරීම යන කාරණා සම්බන්ධයෙන්ද මෙහිදී තානාපති කාර්යාලය දැනුවත් කළ බව හිටපු මන්ත්‍රීවරයා පැවසීය. රටක ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටුණහොත් අනාගත පරපුරට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි වී ආණ්ඩුවට බියෙන් පසුවීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
















