මෙරට ලක්ෂ 6ක ජනතාවකට තවමත් සුරක්ෂිත හෝ අර්ධ ස්ථිර නිවාස නොමැති බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.
අද (30) පැවති අද දෙරණ “BIG FOCUS” වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත අනුව මෙරට පවුල් ලක්ෂ 61ක් පමණ සිටින අතර, පවතින්නේ නිවාස ඒකක ලක්ෂ 60ක් පමණක් බවද ඔහු පෙන්වා දුන්නා.
මෙම නිවාස අර්බුදයට විසඳුමක් ලෙස නිවාස 31,000ක විශේෂ ව්‍යාපෘතියක් රජය විසින් ආරම්භ කර ඇති බවත්, එහි පළමු අදියර යටතේ නිවාස 19,000ක් අලුතින් ඉදිකිරීමට හෝ පවතින නිවාස අලුත්වැඩියා කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
එම නිවාස 19,000න් නිවාස 12,000ක් පමණ රජයේ පූර්ණ ආධාර යටතේ අලුතින් ඉදිකිරීමටත්, ඉතිරි නිවාස සහනදායී ණය ආධාර යටතේ ලබාදීමටත් කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
















