2026 අංක 01 සහ 02 දරන විදේශ විනිමය රෙගුලාසි මෙන්ම විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කළ නියමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF) අනුමැතිය හිමිව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම අනුමැතිය ලබාදී ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ රේගුව ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් ඊට එක්ව සිටියා.
2026 අංක 01 රෙගුලාසිය යටතේ ශ්‍රී ලාංකිකයන් සහ මෙරට සමාගම් විදේශයන්හි සිදුකරන ආයෝජන, ඒ සඳහා සුදුසුකම් ලබන ක්ෂේත්‍ර සහ විදේශයන් වෙත ප්‍රාග්ධනය යැවීමේ සීමා පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.
2026 අංක 02 රෙගුලාසිය යටතේ විගමිකයන්ගේ මෙරට වත්කම් සහ ප්‍රාග්ධනය විදේශයන් වෙත මාරු කිරීම මෙන්ම කුලී ආදායම්, පොලී සහ ලාභාංශ වැනි වත්මන් ආදායම් විදේශයන් වෙත ප්‍රේෂණය කිරීම සම්බන්ධ විධිවිධාන පැහැදිලි කර තිබෙනවා.
මේ අතර, විදේශ විනිමය පිටතට ගලායාම සම්බන්ධ තාවකාලික සීමාවන් පිළිබඳවද සාකච්ඡා කර ඇති අතර, ආර්ථික තත්ත්වය යහපත් වීමත් සමඟ එම සීමාවන් ක්‍රමානුකූලව ලිහිල් කිරීමට අපේක්ෂා කරන බව මහ බැංකු නිලධාරීන් සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවද විදේශ විනිමය ප්‍රතිපත්ති රාමුව ආර්ථික තත්ත්වයන්ට සහ ව්‍යාපාරික මූල්‍ය අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සමාලෝචනය කරමින් සිටින බව සඳහන් කර තිබෙනවා.
















