මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා දෙමාපියන් සක්‍රීයව සම්බන්ධ කරගන්නා ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව අද (30) ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ අවදානම හඳුනා ගැනීම සහ ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම, අවශ්‍ය අවස්ථාවලදී ගුරුවරුන් හෝ ආගමික නායකයන් හරහා විශ්වසනීය මගපෙන්වීමක් ලබාදීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම සහ ගුරුවරුන්ට ඒ සඳහා විශේෂ පුහුණුවක් ලබාදීම පිළිබඳවද අවධානය යොමු වී තිබෙනවා.
මේ අතර, සැප්තැම්බර් මාසය තුළ පමණක් මත්ද්‍රව්‍ය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා 8,000ක් අවසන් කර ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්වල බෙදාහැරීමේ ජාලය බිඳ දැමීම සඳහා ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් මෙහිදී සඳහන් වී තිබෙනවා.
මත්ද්‍රව්‍ය පාලනය සඳහා නව පනත ඔක්තෝබර් තුන්වන සතිය වන විට පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
















