ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසන්නේ වැඩිහිටියන්ගේ අපේක්ෂාවන් දරුවන් මත පැටවීමෙන් තොරව, වර්ධනය වන තරඟකාරීත්වය හමුවේ අහිමි වී යන දරුවන්ගේ මානසික නිදහස, සාරධර්ම සංවර්ධනය සහ සැබෑ ළමා කාලය යළි ලබා දිය යුතු බවයි. “ශක්තිමත් මනසක් – පොහොසත් දරුවෝ” යන මෙවර තේමාව යටතේ අමාත්‍යවරිය මේ බව අවධාරණය කර ඇති අතර, රටක සැබෑ සංවර්ධනය පිළිබිඹු වන්නේ දරුවන්ගේ සිනහව තුළින් බවද ඇය පෙන්වා දී තිබේ.
“දරුවන් සඳහා වඩාත් ආරක්ෂිත ලෝකයක් – නිර්මාණශීලී අනාගත පරපුරක්” යන දැක්ම පෙරදැරිව, ජාතිය, ආගම, ආර්ථික පසුබිම හෝ සමාජ තත්ත්වය මත වෙනස් කොට සැලකීමකින් තොරව සෑම දරුවෙකුම ආරක්ෂා කිරීමට අමාත්‍යාංශය කැපවී සිටින බව ඇය සඳහන් කර ඇත. දරුවන්ගේ භෞතික හා මානසික සුවබව තහවුරු කිරීමටත්, අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත් රජය ගෙන යන වැඩපිළිවෙළ යටතේ ශක්තිමත් ශ්‍රී ලංකාවක අනාගත පරපුර ලෙස ලෝකයට මුහුණ දෙන ලෙස ඇය දරුවන්ගෙන් ඉල්ලා තිබේ.
















