අගෝස්තු මාසයේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයෙන් තවමත් පීඩා විඳින නේපාලයට යළිත් වරක් ප්රබල නායයෑම් සහ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.
විදෙස් මාධ්ය වාර්තා කරන්නේ මේ වනවිට පුද්ගලයින් 30කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
නේපාල ජාතික ආපදා කළමනාකරණ අධිකාරියට අනුව පසුගිය සතිය අවසානයේ සිට පවුල් 1,900කට අධික සංඛ්යාවක් පීඩාවට පත්ව ඇති අතර, නිවාස 240කට වැඩි සංඛ්යාවකටද හානි සිදුව තිබේ.
එමෙන්ම මාර්ග, ගොඩනැගිලි සහ පාලම් රැසක්ද ජලයට ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ.
නේපාල ආර්ථිකයට වැදගත් වන අන්නපූර්ණ සංචාරක මාර්ගයේ ගමන් කළ දේශීය හා විදේශීය සංචාරකයින් සිය සංචාර අතරමඟ නතර කර ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මනාං සහ මුස්තාං දිස්ත්රික්කවල සිරවී සිටි බොහෝ සංචාරකයින් හෙලිකොප්ටර් මඟින් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ගැනීමටද කටයුතු කර ඇත.
මේ අතර, හිම්ලුං කඳුකරය ආසන්නයේ සිදුවූ හිම කඩාවැටීමකින් මළ සිරුරු හතරක් සොයාගෙන ඇති අතර, තවත් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන්ව සිටින බව සඳහන් වේ.
මනාංහි චමේ ගම්මානය ආසන්නයේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන් ගංගාවක් අවහිර වී තාවකාලික ජලාශයක් නිර්මාණය වී ඇති අතර, එමගින් නිවාස සහ පාලම් කිහිපයක් ජලයෙන් යටවී තිබේ.
තම නිවාස සහ ඥාතීන් අහිමිවීම හේතුවෙන් ප්රදේශවාසීන් දැඩි කම්පනයට පත්ව සිටින අතර, තාවකාලික කූඩාරම්වල රැඳී සිටින ජනතාවටද වැසි ජලය කාන්දුවීම හේතුවෙන් දැඩි අසීරුතාවන්ට මුහුණදීමට සිදුව තිබේ.
















