ශ්රී ලංකාවේ තිරසාර ණය වෙළඳපොළ තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ Global Green Growth Institute (GGGI) එක්ව නව තාක්ෂණික සහාය වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහන යටතේ හරිත, සමාජ, තිරසාර සහ තිරසාරත්වයට සම්බන්ධ (GSS+) බැඳුම්කර වෙළඳපොළට හඳුන්වාදීමට අපේක්ෂා කරන ආයතන සඳහා අවශ්ය තාක්ෂණික සහාය ලබාදීමට නියමිතය.
CSE විසින් GSS+ උපකරණ 2024 වසරේදී හඳුන්වාදීමෙන් පසු මේ දක්වා බැඳුම්කර නිකුතු 12ක් හරහා රුපියල් බිලියන 92කට වැඩි මුදලක් රැස්කර ඇති අතර, 2025 වසරේදී ණය ප්රාග්ධන වෙළඳපොළ හරහා රැස් කළ මුදලින් 40%ක් GSS+ උපකරණ හරහා රැස්කර තිබේ.
නව වැඩසටහන යටතේ GSS+ බැඳුම්කර නිකුත් කිරීමට අපේක්ෂා කරන ආයතන සඳහා GGGI වෙතින් තාක්ෂණික සහාය ලබාගැනීමට අයදුම් කළ හැකි අතර, අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් 26 වැනිදා දක්වා සිදුකෙරේ.
තෝරාගන්නා ආයතනවල අවශ්යතා අනුව GSS+ බැඳුම්කර රාමු සකස් කිරීම, දෙවන පාර්ශ්ව මත ලබාගැනීම, බැඳුම්කර නිකුත් කිරීමෙන් පසු අරමුදල් වෙන්කිරීම සහ එහි බලපෑම පිළිබඳ පළමු වසරේ වාර්තාකරණය ඇතුළු කටයුතු සඳහාද තාක්ෂණික සහාය ලබාදීමට නියමිතය.
එමෙන්ම ධාරිතා වර්ධනය සඳහාද සහාය ලබාදෙන අතර, වැඩසටහන යටතේ ලබාදෙන තාක්ෂණික සහාය මෙන්ම දෙවන පාර්ශ්ව මත ලබාගැනීම සඳහා වන වියදම්ද නොමිලේ ලබාදෙන බව CSE සඳහන් කරයි.
ශ්රී ලංකාවේ තිරසාර මූල්ය වෙළඳපොළ සංවර්ධනය සඳහා GGGI මීට පෙරද දායක වී ඇති අතර, එම ආයතනයේ සහාය ඇතිව ශ්රී ලංකාවේ බැඳුම්කර නිකුතු තුනක් හරහා දේශගුණික අරමුණු සහිත ආයෝජන සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 110කට වැඩි මුදලක් රැස්කර තිබේ. එයට ශ්රී ලංකාවේ පළමු නිල් බැඳුම්කරයද ඇතුළත් වේ.
නව වැඩසටහන හරහා මෙරට GSS+ බැඳුම්කර වෙළඳපොළ තවදුරටත් පුළුල් කිරීමට සහ තිරසාර ණය උපකරණ වෙළඳපොළට හඳුන්වාදීමට අපේක්ෂා කරන බව CSE සහ GGGI සඳහන් කරයි.
















