ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය සැමරීමට ආසන්නව තිබියදී රජය ඉන්ධන මිල ඉහළ දැමීම හරහා ජනතාවට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ ළමුන්, වැඩිහිටියන් ඇතුළු සමස්ත ජනතාවට සුරක්ෂිත සහ සෞභාග්‍ය සම්පන්න ජීවිතයක් උදා කළ යුතු අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දැමීම සිදුකර ඇති බවයි.
වත්මන් රජය බලයට පත්වීමට පෙර වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබාදෙන බවත්, ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන බවත් පොරොන්දු වූ බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.
එමෙන්ම ඉන්ධන සම්බන්ධයෙන් සිදුවන බව කියන දූෂණ, වංචා සහ කොමිස් මුදල් නතර කර ජනතාවට සහන ලබාදෙන බවට පොරොන්දු වූ නමුත් එම පොරොන්දු ඉටු කර නොමැති බවටද ඔහු චෝදනා කළා.
මීට පෙර රජය ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව ප්‍රකාශ කර තිබූ පසුබිමක ඉන්ධන මිල ඉහළ දැමීම හරහා එම සහනාධාරය සම්බන්ධයෙන්ද ප්‍රශ්නයක් මතුවන බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.
මහා භාණ්ඩාගාරයේ මුදල් ඉතිරි කර ඇත්නම්, ආර්ථික අපහසුතාවලට මුහුණ දී සිටින ජනතාවට සහන ලබාදීම සඳහා එම මුදල් යොදාගත නොහැක්කේ මන්දැයි ඔහු ප්‍රශ්න කළා.
ජනතාවට තවදුරටත් සහන ලබාදෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා රජයට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අභියෝග කිරීමට පසුබට නොවන බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
















