මාස 10කට අධික කාලයකට පසු උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය හෙට (02) සිට යළි ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රඹුක්කන සිට ගම්පොළ දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන 103කට හානි සිදුවීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිට තිබුණා.
මේ වනවිට නානුඔය සිට බදුල්ල දක්වාත්, නාවලපිටිය සිට හැටන් දක්වාත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන අතර, හෙට සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වාද දුම්රිය ධාවනය ආරම්භ කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, පේරාදෙණිය සහ මහනුවර අතර පිහිටි පේරාදෙණිය කළු පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් නොවීම හේතුවෙන් පේරාදෙණිය සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය තවදුරටත් සිදු නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව මහනුවර සහ මාතලේ දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට හැකි වනු ඇති බවද සඳහන්.
ඔක්තෝබර් 02 වැනිදා පස්වරුවේ සිට කොළඹ කොටුවේ සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා සාමාන්‍ය දුම්රිය කාලසටහන ක්‍රියාත්මක වන අතර, නගරාන්තර දුම්රිය ඇතුළුව දිනකට දුම්රිය ගමන්වාර 8ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව, කලින් ආසන වෙන්කරවා ගැනීමේ පහසුකමද මගීන්ට ලබාදී තිබෙනවා.
මේ අතර, පොඩි මැණිකේ දුම්රියද ඔක්තෝබර් 03 වැනිදා සිට දිනපතා ධාවනය කිරීමට නියමිත අතර, කොළඹ කොටුවෙන් පෙරවරු 5.55ට පිටත් වන එය පෙරවරු 8.34ට පේරාදෙණියටත්, පෙරවරු 9.06ට ගම්පොළටත් ළඟා වීමට නියමිතයි.














