ඩුබායි සිට ටෙල් අවීව් බලා පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් යානයකදී සිදුවූ අනතුරුදායක සිදුවීමක් හමුවේ මගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කළ ඉන්දීය නියමුවා වන කපිතාන් ස්මිත් මච්ඡාර් පිළිබඳව ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි ප්රශංසා කර තිබෙනවා.
විදෙස් වාර්තාවලට අනුව, ගුවන් යානය පියාසර කරමින් තිබියදී සහය නියමුවා විසින් කපිතාන් මච්ඡාර්ට පිහි ප්රහාරයක් එල්ල කර ඇති අතර, යානය තත්පර 30කට අඩු කාලයකදී අඩි 14,000කට ආසන්න ප්රමාණයකින් පහළට ඇද වැටී තිබෙනවා.
බරපතළ තුවාල ලබා සිටියද කපිතාන් මච්ඡාර් නියමු කුටියේ දොර විවෘත කිරීමට කටයුතු කර ඇති අතර, එම අවස්ථාවේදී මගීන් සහ කාර්ය මණ්ඩලය නියමු කුටියට ඇතුළු වී සහය නියමුවා පාලනය කර ගැනීමට සමත්ව තිබෙනවා. පසුව යානයේ සිටි තවත් නියමුවන් දෙදෙනෙකු විසින් එය සෞදි අරාබියේ ටබුක් ගුවන් තොටුපොළට ආරක්ෂිතව ගොඩබස්වා තිබෙනවා.
යානයේ මගීන් 174 දෙනෙකු සිටි බවත්, සිද්ධියෙන් අනතුරුව කපිතාන් මච්ඡාර් ටබුක්හි රෝහලක ප්රතිකාර ලබමින් සිටින බවත් රොයිටර්ස් වාර්තා කරනවා.
මේ සම්බන්ධයෙන් X ඔස්සේ ප්රකාශයක් නිකුත් කරමින් අග්රාමාත්ය නරේන්ද්ර මෝදි, බරපතළ අනතුරක් මධ්යයේ තුවාල ලබා සිටියද අනෙක් පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කපිතාන් මච්ඡාර් දැක්වූ ධෛර්යය සහ කැපවීම අගය කර තිබෙනවා.
















