දිර්ඝ කාලයක් තිස්සේ දැවැන්ත මූල්‍ය අර්බුදයකට හා පාඩුවකට ලක්ව තිබූ සතොස ආයතනය යළි ප්‍රතිසංවිධානය කරමින්, එය ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට රජය විසින් ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා පාරිභෝගික කටයුතු ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.
පසුගිය කාලය පුරා අඛණ්ඩව පාඩු ලැබූ සතොස ආයතනය, වත්මන් රජයේ විධිමත් වැඩපිළිවෙළ හේතුවෙන් මේ වන විට මාස හතරක කාලයක් තුළ ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට හැකි වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තවද, සතොස ශාඛා එක සියයක් නවීන පෙනුමකින් යුතුව ප්‍රතිසංවිධානය කර ක්‍රියාත්මක කිරීමට පුළුල් සැලසුම් සකස් කර ඇත.
සතොස ආයතනයේ මූල්‍ය තත්ත්වය පිළිබඳව තොරතුරු අනාවරණය කළ ඇමැතිවරයා, ලංකා සතොස 2020 වසරේදී රුපියල් මිලියන 1,387ක සහ 2021 වසරේදී මිලියන 840ක ප්‍රාග්ධන අලාභයක් ලබා ඇති බව සඳහන් කළේය. 2022 වසරේදී කුඩා ලාභයක් වාර්තා කළද, 2023 දී මිලියන 695ක, 2024 දී මිලියන 776ක සහ 2025 වසරේදී මිලියන 721ක අලාභයක් වාර්තා කර ඇත.
ඒ අනුව, සතොස ආයතනයේ සමස්ත අලාභය රුපියල් මිලියන 24,000ක් වන අතර, සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් මිලියන 14,000කි. කෙසේ වෙතත්, රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත මෙම දැවැන්ත ණය බර මහා භාණ්ඩාගාරය වෙත පවරා ගනිමින් සතොස එම මූල්‍ය බරින් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















