බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛතම ඖෂධ අලෙවිසැල් ජාලයක් වන Boots සමාගම, අමෙරිකානු ඩොලර් බිලියන 8.9කට (පවුම් බිලියන 6.7) කැනඩාවේ ප්‍රකෝටිපති වෙස්ටන් (Weston) පවුල වෙත අලෙවි කිරීමට ගිවිසුම් ගතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වසර 177ක දීර්ඝ ඉතිහාසයක් හිමි මෙම සමාගම, අමෙරිකානු පුද්ගලික ආයෝජන සමාගමක් වන Sycamore Partners සහ පෙසිනා (Pessina) පවුල විසින් මිලදී ගැනීමට පියවර ගත් බව Wittington Investments හෝල්ඩිං සමාගම තහවුරු කර තිබේ. 1849 වසරේදී නොටින්හැම් හි කුඩා ඖෂධසලකින් ආරම්භ වූ Boots සමාගම, වර්තමානය වන විට සෞඛ්‍ය හා රූපලාවන්‍ය නිෂ්පාදන ඇතුළු පුළුල් පරාසයක සේවාවන් සපයන බ්‍රිතාන්‍යයේ ජනප්‍රියම සන්නාමයක් බවට පත්ව ඇත. මහා බ්‍රිතාන්‍යය පුරා අලෙවිසැල් 1,800ක් පමණ ක්‍රියාත්මක වන මෙම ජාලය හරහා පසුගිය වසරේදී පමණක් පවුම් බිලියන 7.5ක අලෙවියක් වාර්තා කර තිබුණි. මෙම අත්පත් කර ගැනීම යටතේ එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ Boots අලෙවිසැල්, Boots Opticians, No7 Beauty Company මෙන්ම තායිලන්තයේ සහ අනෙකුත් නියෝජිත ආයතන සියල්ල වෙස්ටන් පවුල යටතට පත්වන අතර, ගනුදෙනුව 2027 වසරේ මුල් භාගයේදී සම්පූර්ණයෙන්ම නිමා වීමට නියමිතය.
















