අධිකරණ තීන්දුවක් අනුව බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් අන්දවා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක් අද (08) පැවැත්වීමට නියමිතව තිබේ.
ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය සමඟ පැවැත්වෙන මෙම සාකච්ඡාව අද පස්වරු 1.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා සඳහන් කර ඇත.
ඥානසාර හිමියන් ගිහි වස්ත්‍ර සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීම බෞද්ධ සම්ප්‍රදායට මෙන්ම ශාසනික විනය නීතිවලට පටහැනි බව පෙන්වා දෙමින් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මීට පෙර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විරෝධය පළ කරමින් ලිපියක් යොමු කර තිබිණි.
එම කරුණ මුල් කරගනිමින් මහා සංඝරත්නය සහ ජනාධිපතිවරයා අතර මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.
















