අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් වැල්ලවාය අඩවි වන කාර්යාලයේ සේවය කරන වන ක්ෂේත්ර සහකාරවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දේවාලමංකඩ ප්රදේශයේ අක්කර තුනක පමණ රජයේ ඉඩමක අනවසරයෙන් ගස් කපා හේන් වගා කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමකින් තොරව දිගටම වගා කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබාදීම සඳහා සැකකරු මුදල් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.
අදාළ කටයුතු කරදීම සඳහා අවස්ථා කිහිපයකදී මුදල් ලබාගෙන ඇති බවත්, පසුව මාසිකව රුපියල් 10,000 බැගින් ඉල්ලා ඇති බවත් විමර්ශනවලදී සඳහන් වී තිබේ.
ඒ අනුව, පැමිණිලිකරු විසින් කළ පැමිණිල්ලකට අනුව ඔක්තෝබර් මාසය සඳහා රුපියල් 10,000ක මුදලක් ලබාගැනීමේ චෝදනාව මත සැකකරු ඔක්තෝබර් 8 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.













