ශ්රී ලංකාව සහ කටාර් රාජ්යය අතර ආහාර ආරක්ෂණ සහයෝගීතාව වර්ධනය කරගැනීමේ අරමුණින් කටාර්හි ‘හසාද් ෆුඩ්’ (Hassad Food) සමාගම සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
කටාර් රාජ්යයේ ශ්රී ලංකා තානාපතිනී සිතාරා ඛාන් මහත්මිය සහ කටාර්හි ආහාර හා කෘෂිකාර්මික අංශයේ උපායමාර්ගික ආයෝජන අංශය ලෙස ක්රියා කරන ‘හසාද් ෆුඩ්’ සමාගමේ ප්රධාන විධායක නිලධාරී ඉංජිනේරු අලි හිලාල් අල් කුවාරි මහතා අතර මෙම හමුව දෝහා නුවරදී පැවැත්විණි. දෙරට අතර රාජ්ය තාන්ත්රික සබඳතාවලට වසර 50ක් පිරීම නිමිත්තෙන් පැවති මෙම සාකච්ඡාවේදී, කෘෂිකාර්මික ක්ෂේත්රය, තාක්ෂණ හුවමාරුව සහ ජලජ වගාව යන ක්ෂේත්රවල සහයෝගීතාව ශක්තිමත් කරගැනීම පිළිබඳව අවධානය යොමු කර ඇත.
ශ්රී ලංකාව සහ කටාර් රාජ්යය අතර පවතින ද්විපාර්ශ්වික ආයෝජන ආරක්ෂණ ගිවිසුම මඟින් ආයෝජකයන්ට හිමිවන සුරක්ෂිත වටපිටාව මෙහිදී තානාපතිවරිය විසින් පෙන්වා දී ඇති අතර, 2027 ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත ‘ශ්රී ලංකා එක්ස්පෝ 2027’ ප්රදර්ශනය සඳහා සහභාගී වන ලෙසද ඇය විසින් ආරාධනා කර තිබේ.
















