රුමේනියාවේ බුකාරෙස්ට් නුවර පිහිටි දිමිත්රි ගුස්ටි ජාතික ගැමි කෞතුකාගාරයේදී (Dimitrie Gusti National Village Museum) පැවැති 4 වන ආසියානු සංස්කෘතික උළෙල සඳහා රුමේනියාවේ ශ්රී ලංකා තානාපති කාර්යාලය සාර්ථකව සහභාගී වී තිබේ.
“එක් මහද්වීපයක්. කතා දහසක්” (One Continent. Thousand Stories) යන තේමාව යටතේ ආසියානු රටවල් 13ක තානාපති කාර්යාලවල සහභාගීත්වයෙන් මෙම උළෙල සංවිධානය කර ඇත. මෙහිදී ශ්රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කළ උඩරට මනාලියගේ ඔසරිය සහ නිලමේ ඇඳුම ඇතුළු පාරම්පරික විලාසිතා දැක්ම නරඹන්නන්ගේ විශේෂ අවධානයට ලක් විය. එසේම, ‘ශ්රී තාලේ’ නර්තන කණ්ඩායම ඉදිරිපත් කළ පාරම්පරික වෙස් නැටුම සහ දේශීය බෙර වාදන තාල ඇතුළත් “Beat of Heritage” ප්රසංගය දැඩි පැසසුමට ලක්විය.
ශ්රී ලංකා ප්රදර්ශන කුටිය වෙත පැමිණි පිරිස් වෙත ලෝක ප්රසිද්ධ සිලෝන් ටී (Ceylon Tea), කෝපි, බිස්කට් සහ කුළුබඩු අගය කිරීමට අවස්ථාව සලසා දී තිබූ අතර, පාරම්පරික ලී වෙස්මුහුණු සහ හස්ත කර්මාන්ත ද ප්රදර්ශනය කෙරිණි. මීට අමතරව, මෙරට සංචාරක ආකර්ෂණ ප්රවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනක් ද මෙහිදී ක්රියාත්මක කරන ලදී.
















